2014-10-21-sumeda-01
සමුදුර තරණය කරලා මහද්වීපයකින් මහද්වීපයකට යන්න ඕනෙ එකෙක් පොඩි වලක මාළු බාන්න ගත්තම මොකක්ද වෙන්නෙ? මාළු බාන්නාට වගේම ඒ දිහා බලාන ඉන්න එකකුටත් දැනෙන්නෙ එකම විදියෙ හැඟීමක්. සමහර විට බලා සිටින්නාගේ ඔද්දල්ගතිය වැඩි වෙන්න පුළුවන්. මොකද අඩුම තරමේ එකී තැනැත්තා මාළු බෑමේ කාර්යයේවත් යෙදී ඉන්නවා. බලාන ඉන්න එකාට තියෙන්නෙ ගලා එන සිතුවිලි විතරයි. ඒ නිසයි ඔද්දල්ගතිය වැඩි. මමත් හරියට බලාන ඉන්න එකා වගේ. ඩෝසන් තමයි මාළු බාන්නා. ඒක විග්‍රහ කළොත් මේ විදියට, බලාපන් හරිද කියලා. උඹ එක්කෝ විද‍්‍යාඥයකු හරි වෛද්‍යවරයකු හරි අඩුම තරමේ මැකෑනික් කෙනකු හරි වෙන්න ඕනෙ එකෙක්. එහෙම එකෙක් ලේඛයෙක් වුණාම කොහොමද?.
ලේඛනය කියන්නෙ මහා ගන වනාන්තරයක් නම් නුඹ ඉන්නේ ඒ මැද. ඒත් උඹට පැහැදිලි 'කාපට්' පාරවල් කීපයක් තියෙනවා. ඒත් තරුණකමයි ඒ නිසාම නැති තැන්පත්කමයි. (බාහිරව නොවේ ඇතුළාන්තය - ඒ කියන්නේ තාම උඹේ ලේ හොඳටම උණුසුම්. ඒ නිසා සිතුවිලිත් රස්නෙයි. කියවීම තමයි මේ තරමටවත් උඹව අල්ලගෙන ඉන්නෙ) නිසා එක මාර්ගයකවත් තවම බරට අඩි තියන්නවත් දෙපැත්ත ගැන සැලකිල්ලෙන් බලන්නවත් උඹට බෑ. කොහොම වුණත් 'හකාවති' ඒ සියල්ල මැද හිඳිමින් ලේඛකයෙක් වෙන්න ගත්ත අවංක උත්සහයක් කියලයි මම දකින්නෙ.
උඹ දන්නවද? මම ලේඛක කොටස් දෙකක් අත් විඳනවා. එක කොටසක් තමයි මිනිසුන් හා ස්වභාවධර්මය විඳලා ලේඛකයො වෙන පිරිස. අනෙක් කොටස ලේඛයන් වීමේ පරමාර්ථයෙන් මිනිසුන් හා ස්වභාවධර්මය හදාරන කොටස. මගේ ගරුත්වය පළමු කොටසටයි. ඩෝසන්! උඹ ඒ පළමු කොටසේ ඉන්න බවයි මගේ හැඟීම. ඒ හින්දා ඉවසීමෙන් කියවාපන්. හිතාපන්. ලෝකය ඇසුරු කරපන්. ඊට පස්සෙ උඹට පුළුවන් වෙයි හුඟාක්ම සාර්ථක ලේඛකයෙක් විදියට ශ්‍රේෂ්ඨ කෘතියක් බිහි කරන්නට. අවසානයට කියන්න ඕනෙ දෙයක් තමයි මම උඹට අතර මැදදී කිව්වේ. ඒක කියන්න ඉක්මන් වුණේ මම ගරු කරන කොටසට උඹ අයිති නිසා.
කොහොම වුණත් ඩෝසන් උඹේ කෘතිය ගැන කතා කරන්න කරුණු කීපයක්ම මට තියෙනවා. මට වඩා හොඳින් දැනුණ හොඳ ටිකත්, නරක ටිකත් මම ලියනවා. බලාපන් ඒවායින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයිද කියලා. ඉස්සර වෙලාම හොඳයි කියල හිතෙන ටික මේ විදියට ගොනු කරන්නම්. උඹ හුඟාක් කියවල තියෙන හැඩයි. විද්‍යාව ඉගෙන ගෙන තියෙන හැඩයි.
(ඩෝසන් ප්‍රිති කියලා පොඩි කවියකට යටින් නුඹේ අමුතු නමේ මතකය හැරුණාම උඹ ලියපු කවියක් ගැනවත් මතකයක් ඇති එකෙක් නොවේ මම. ඒ නිසා උඹ ගැන මම දන්න කිසිම දෙයක් නෑ. ඒත් පොත හරහා මම උඹව දකිනවා. ඒ දැක්ම හරි හෝ වැරදි වෙන්න පුළුවන්.)
මේ දෙකේ සංයෝගයක් හැටියටයි නුඹේ හැම කතාවක්ම වගේ එළියට එන්නෙ. උඹ බයිබලයෙ ශෛලිය අල්ලා ගන්න හදනවා. තවත් වරෙක ජාතක කතා සංග්‍රහයෙ නැත්නම් තීරු ලිපියක ශෛලිය. මම හිතන්නෙ ඒක ලේඛකයකුගෙ සමත්කමක්. එය සියලු ශෛලීන් අතරේ බලාපන් උඹේම කියලා ශෛලියකුත් හදාගන්න.
ලේඛකයො තමන්ගේ කෙටි කතා උඩින් හේතුපාඨ ලියලා තියෙනවා. බොහෝ හේතු පාඨ ආගම ධර්මයෙන් උපුටාගත් ඒවා. ඒ අනුව යමින් උඹ පරිවර්තනවල උඹට හිත ඇඳුන කොටස් උපුටා ගන්නවා. එක අතකට ඒකෙ පොඩි ගතියකුත් තියෙනවා. ඒත් මොකටද අපි තවත් තැනකට ඒ තරම් බැඳෙන්නේ. අපි ගරු කරන ආදරය කරන වස්තූන් එක්ක ඕනෑවට වඩා ආත්මික බැඳීම් ඇති කරගත්තොත් ලෝකයට අපෙන් ප්‍රකාශ වෙන්නේ ඒ වස්තූන්වල වටිනාකම මිස අපේ වටිනාකම් නොවෙයි. ගලක අතුල්ලා පිහිතලය මුවහත් කර ගන්න එක හොඳයි. ඒත් වැඩේ ගන්න ඕනෙ පිහිතලෙන් මිස ගලෙන් නොවේ.
(මොනවා වුණත් මම මේ ලියවිල්ල නිදහසේ ලියනවා. උඹ වැඩේට අවංක වූ නිසා මට ඇතිවූ සතුට ඒ නිදහසට හේතුවක් වෙන්න ඇති.)
අනික් කාරණේ විද්‍යාව සාහිත්‍ය කරන්න යන උත්සහයත් නරකම නෑ. හැබැයි පුතෝ එතැන ප්‍රශ්නයක් තියෙනවා. උඹ දන්න ඔය විද්‍යාත්මක වචන දන්නෙ මේ රටේ කීයෙන් කී දෙනාද? විද්‍යාව තියා සිංහලවත් හරි හැටි ඉගැන්වෙන්නෙ නැති මේ රටේ දරුවන්ට බොහෝ වෙලාවට ගණිතය ඉංග්‍රීසි වගේම විද්‍යාවත් ඇලජික්.
(හොඳ ටික ඇතුළෙ අඩුපාඩුත් ලියැවෙනවා. දිගටම එහෙම වෙයි. අවුලක් නෑනෙ) ඒ නිසා උඹේ ඔය ඔලුවෙ තියෙන විද්‍යා බර ටිකක් සැහැල්ලු කරලා විද්‍යා විනෝදය සමඟ ඔය වචන හසුරුවාගන්න උත්සහ දැරුවොත් හොඳයි කියලයි මට හිතෙන්නෙ. අඩුම තරමේ මේ වචනවලට ගැටපදයක්වත් එකතු කරන්න උඹට තිබුණා.
(උපහාසයෙන් අපහාසයෙන් කිව්වා නොවෙයි. ඇත්තටම මට නම් ඒවා මහා බරයි)
අනෙක් පැත්තෙන් බැලුවම උඹ එක එක ඉසව් අල්ලන්නත් උත්සහ කරලා තිබුණා. ඒ අතරේ ආදරය, ප්‍රේමය, වෛරය, සංවේදී බව, ලිංගිකත්වය (හරියට ඊව් ලූනා වගේම. ඊව් ලූනා ඇතුළෙ හැම දේම තිබුණා. මමත් ඒ පොතට පණ යන්න ආදරෙයි) දේශපාලනය, අධ්‍යාපනය වගේ හුඟක් දේවල්. සමහර වෙලාවට උඹට නොදැනීම උඹේ පරමාර්ථය උඩු යටිකුරු වෙලා වෙනත් දෙයක් ප්‍රබලව කියැවුණා. සමහරවිට උඹයි මමයි ප්‍රතිවිරුද්ධ සත්තු දෙන්නෙක් හින්දා ඒ දේවල් වෙනම දැනෙනවා ඇති. ඒක හරි ස්වභාවිකයි. මම එහෙම දුටු එක කතාවක් තමයි 'ජයසරණංකර'. හැබැයි පුතෝ මහා ව්ට්‍ටෝරු කතාවක්. මහා ඕලාරිකයි. ඒත් ප්‍රධාන චරිතයේ බිරියගේ භූමිකාවේ එක් පැත්තක් මේ රටේ ගෑණුන්ගෙ ප්‍රධාන ශෝකාලාපයක් කියා දෙනවා. බිරිය ඔහුට කියන්නේ මහ ගෙදරින් ගිය දාට ඔහු ඇති තරම් සතුටු කරන බවයි. උඹ ඒ වාක්‍ය ලිව්වේ අවිඥානිකව කියලා නම් මම කියන්නෙ නෑ. ඒත් කෙටි කතාව ඒ විලාපය ගැන කියලයි මට හිතෙන්නේ. මෙලෝ රහක් නැති ඒ කෙටි කතාව වටේ ශක්තිමත් බැම්මක් බැඳෙන්නේ ඒ හරහා කියලා මට හිතෙනවා. තව ටික කාලයක් යනකොට කතාව ඇතුළෙ ඉස්මතු කරලා ඔප කරලා ගන්න ඕනෙ මැණික ගැන හැඟීම උඹට දැනෙයි.
එක එක කෙටි කතා ගැන වෙන වෙනම ලියන්න මට කාලයක් නෑ. මේ ලියන්නෙත් දාහක් වැඩ මැද්දෙ. ඒ නිසා පොදුවේ ලියන මේ කරුණුවලින් වැඩක් තියේදැයි බලාපන්.
උඹේ වාක්‍ය, වාක්‍ය නොවෙයි හෑලි. අපරාදෙ මගෙ කාලය. සමහර වාක්‍ය තේරුම් ගන්න දෙතුන් සැරේ කියවන්න වුණා. බොහෝ කතාවල ඒ අඩුව නම් ගජරාමෙට තිබුණා. කෙටි වැකි ලියාපන්. හැබැයි උඹේ එක කෙටි කතාවක භාෂාව ඒ කතාවට හොඳින් ගැළපුණා. ඒ තමයි මාරාව. ඒත් ඒකෙ ඒ තරම් ගතයුත්තක් නෑ. පොඩි ලතින් ඇමෙරිකානු ලිංගික නිර්භය රචනාමය ගතියක් තිබුණා. හැබැයි ඉතින් ඊට වඩා හොඳට මේ පරිවර්තන එන්න කලින් සයිමන්ගෙ (සයිමන් නවගත්තේගම) සාපේක්ෂණී වගේ කෘතියක් බොහොම නිර්භයව අපූරුවට ලිංගිකත්වය ගැනත් දේශපාලනය සංස්කෘතිය හා සමාජය ගැනත් කතා කළා. උඹ හැබැයි සයිමන්ගෙ රචනා කලාවට වඩා ගාමිණී වියන්ගොඩ හරහා වූ පරිවර්තන සාරයෙන් ඒ වීරත්වය අරගෙන බවයි මගේ නම් හැඟීම. (ඊවා ලූනාට කලින් මගේ ආදරය දිනුවෙ 'සාපේක්ෂණී' ඒකත් නොකියා බෑ. ආ උඹ මේ පොත පිදුවේ අජිත් තිලකසේනටනේ. ඒක මට මතක් වුණේ දැන්.)
ඒ වුණාට උඹ සුගතපාල ද සිල්වා කියෝලා කියල හිතුණා. 'Online පාංශුකූල' කෙටි කතාවේ ඒ ගතිය තිබුණා.
කොහොම වුණත් ඩෝසන් උඹේ කතාවල ඉන්න මේ චරිත සේරම පෙරළාගෙන උඹ උඩට මතුවෙනවා. ඒ අර ලේවල උණුසුම. විනෝදය කෙටි කතාවේ 'සුගතදාස' ඒ වැඩේ හොඳටම කළ එක චරිතයක්. මේ සියලු ලියැවිලි හා චරිතවලින් ලේඛකයා ද තමන්ව ලියා ගැනීම පුදුමයක් නොවේ. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒත් ඒක හුඟක් දැනුනොත් ඒක 'මගේ කතාව' වගේ එකක් නෙවා. එහෙම වුණත් කමක් නෑ. හැබැයි හැම කතාවෙන්ම ඒක ඉස්මතු වුණොත් වැඩක් නෑ. (තව ටික කාලයක් යද්දි මගේ කතාව මගේ නොවේ වගේ ලියන්න උඹ පුරුදු වෙයි)
තවත් දෙයක් තියෙනවා. උඹ විද්‍යාවයි කලාවයි ඇතළෙ දෙන සටනම විද්‍යාවයි ආගමයි අතරෙත් දෙනවා. මොකක් නමුත් කතෝලික නැතිනම් ක්‍රිස්තියානි උරුමයක් කොතැනකින් හෝ උඹට ගෑවිල ඇති. එතැන උඹ පොඩි විප්ලවවාදියෙක් වග් හැසිරෙන බව සමහර කෙටි කතාවලින් පේනවා.
විප්ලව කරන්න නම් හොඳ තර්ක බිඳින්නෙක් වෙන්න ඕනෙ. එහෙම වී ඇති බවක් මට ඒ තරම්ම දැනුණෙ නෑ.
සමාජ ක්‍රමය අලුත් කරපු නව තාක්ෂණය සමඟ මිනිසුන් ගැටෙනා අයුරුත් ඉන් පිහිට ලබන අයුරු ගැනත් 'විනෝදය' වගේ කෙටි කතාවකින් කතාබහ කිරීමට උත්සහ දරා තිබෙනවා.
කොහොම වුණත් ඩෝසන් උඹ ව්‍යාකරණ ගැන නම් තව ටිකක් කල්පනාකාරී වෙන්න ඕනෙ. මොකද උඹ ඒ ගැන නොසලකා හැරල කියලා කියන්නත් බෑ. හැම තිස්සෙම සිංහල රීති රකින්න උඹ උත්සහ දරලා තියෙනවා. ඒත් උඹේ සෝදුපත් වැඩේවත් හරියට කෙරිල නෑ. හරියට නොවේ, ඒක කෙරිලම නෑ. න ණ ල ළ නොදැන සිටීම ලේඛකයකු නොවී සිටීමට හේතුවක් නොවේ. ඒත් ඒ ගැන දැන ගත්තම ලේඛනයට හුඟක් හොඳයි. නොදන්න එකක් දන්න එකෙක් ගෙන් ඉගෙන ගනින්. අපි හැමෝම මේ වැඩේට අලුත්. කාටත් වරදිනවා. වැරදි හදා ගන්න නම් මේ වගේ යමක් කරන්න ඕනෙ. නැත්නම් අපි වැරදියි කියලවත් අපි දන්නෙ නෑ.
'සුජාත පුත්‍රයන්ගේ වික්‍රමය' ජාතක කතා භාෂා ශෛලියම අනුකරණය කරලා ලියා තිබෙන බවත් අවසාන මොහොතේ හරි කියන්න ඕනෙ. ඒ වගේ ශෛලියකට දිග වැකි ආවාට මම දොස් කියන්නෙ නෑ. හැබැයි පුතෝ ඒ අදහස් නිරවුල් වෙන්න ඕනෙ.
මිරැන්ඩා වගේ කතාවක දකිනවා පොඩි තිර නාටක ශෛලියක්. සිනමාවම නැතත් කැමරාකරණයක විදියක් ඒකෙ තියෙනවා. මිරැන්ඩා අණ්ඩර දෙමළයක් නොවී තේරුම් ගන්න නම් පොඩි සිනමා රසයක් තියෙන්න ඕනෙ කියලත් මට හිතුණා.
ඩෝසන් මේ ඇති. උඹේ මේ වැඩේ හුඟාක් දේවල් කතා කරවන්න පුළුවන් වැඩක්. හුඟක් පැති ගැන, ඒ කියන්නෙ ආගම, විද්‍යාව, භාෂා ශෛලීන්, ආභාෂයන්, සංස්කෘතිය, දේශපාලනය, ලිංගිකත්වය වගේ හුඟක් දේවල්. ආ.... උඹට පොඩි නිර්භීතකමකුත් තියෙනවා. රස්නය ඇති ලේ පොඩි පොඩි දේශපාලන ටොකු ටිකක් අනිනවා.
ඉතින් ආයුබෝවන්. අපි හැමෝම වැරදි හදාගෙන ඉදිරියට ම යමු. උඹට ජය.
මම සුමේධා නවරත්න
No comments:
Post a Comment