හකාවති පහසු-අපහසු වියමනක් ලෙස.!
සිහින දැකීම යනු ප්‍රාර්ථනා සඵල වීමයි-ෆ්‍රොයිඩ්-
හකාවති කෙටිකතා මුලින්ම එහි බ්ලොග් අඩවියේ පළ වන විට අපේ ගෙදර කතාබහක් ඇතිවිය. 'මේ ලියන එකා නම් මාර කෙටිකතා කාරයෙක්' මම කීමී[මම ඒ කතා කරු හැඳින නොසිටියෙමි]. 'මේ කතා කාරයා තවත් හොඳයි මේවා තවත් වතාවක් ලිව්වා නම්' අපේ උන්දෑ කී දෑ ය. ඇය කවර හෝ කෘතියක 'භාෂාවේ' කොන් ඉලිප්පී තිබෙනු දැකීමට අකමැත්තීය. 'හකාවති ලංකාවේ කෙටිකතාවේ අනාගතයයි' මම එහි කමෙන්ට් කළෙමි.
වෛද්‍ය ෆ්‍රොයිඩ්ගෙන් ඉහත උපුටා ඇති වැකිය කෙටිකතාවක් කියවා ගැනීම පිණිස පිවිසුමක් සපයයි. හකාවති කෙටිකතා කුඩා දවල් සිහින වැනිය. සමහරක් සංගීතය සහිත භ්‍රාන්තික සිහිනයන් ය. සමහරක් සංගීතය රහිත භ්‍රාන්තීන් ය. සිහින ප්‍රක්ෂේපණය වන ෆැන්ටසි තිරය මතට ප්‍රබල ප්‍රොජෙක්ටර් ආලෝකයක් එල්ල කළ විට පමණක් එබඳු සෙවණැලි භ්‍රාන්තීන් දැකිය හැකිය.
අජිත් තිලකසේන සිය කෙටිකතා මගින් ලංකාව නම් මනෝ දූපතේ වාසය කරන සත්ත්වයාගේ ද පුද්ගලයාගේද මනෝභාවය වෙත සිය ප්‍රොජෙක්ටර් එළි ධාරාව මුල් වරට විහිදුවා ලූ පසු ආපසු ගමනක් නැති විය. ඔහු අතින් සිදු කෙරුණේ පසු යටත්විජිතයක මිනිස් සබඳතා විශ්ලේෂණීයව කියවා ගැනීමට අවශ්‍ය ඛන්ඩණීය මැදිහත් වීමයි. ඉන්පසු තිරය මත වූ අංශු පමණක් නොව තිරය ඉදිරිපස හා පසුපස පාවෙමින් තිබෙන අංශූන් පවා පෙනෙන්නට විය.
ෆැන්ටසි තිරයට අරක්ගත් එහි මෝස්තරය වන සළාවැටුමක් වෙයි. පවුල නම් එම සළාවැටුම් මෝටිෆ් එක [මාතිකාව]තිරයෙන් එළියට නොඉල්පෙයි හෝ පසුපසට එබී නොයයි. මේ කුඩා සළාවැටුම් රාශිය වෙත වෙනත් තරංග ආයාමයකින් යුත් එළිදහරක් එල්ල කිරීමට 1982 තෙක් කාලය ගත යුතුව තිබිණි. 'සර්පයෙකු හා සටන් වැද' [කේ කේ සමන් කුමාර] කෙටිකතා සංග්‍රහය උපදින්නේ එම සළාවැටුම් පමණක් බිම්බායමාන කෙරෙන කතා එකතුවක් ලෙසිනි. සර්පයා සිය කෙටිකතා පොත පුරා කරන්නේ පවුල නම් කුඩා සිපිරි ගෙය චිත්‍රණය කිරිමයි. බෞද්ධ ප්‍රඥාමාර්ග සාහිත්‍යය යනුම මේ සිපිරි ගෙය හා එහි කැණිමඬල විදාරණය කිරීමයි. සර්පයා සයිමන් හා ජයසේන ජයකොඩි ගෙන් ප්‍රඥා මාර්ගය තවමත් සොයමින් සිටින්නේ නම් ඒ දැඩි මුළාවකි. 'කුටුම්භ විශ්ලේෂණය' නම් විෂයය තවමත් ඉපිද නැත. එහි විවිධ පැතිකඩ තාක්ෂණයන්ට සීමා වී වියුක්තව තැන තැන විසිර පවතී. තමන් වයස 18දී ලියූ මේ කතා ගොන්න කොන්ටම් ඔපරේටරයක් කර ගැනීමට සමත් වීමෙන් පමණක් සර්පයාගේ චතුෂ්කෝටිකය විසඳා ගත හැකි වෙනු ඇත.
සිංහල කෙටිකතා සාහිත්‍යය එහි තෙවෙනි විශ්ලේෂණාත්මක පිම්ම පනින්නේ ඩෝසන් ප්‍රීති ගේ ‘හකාවති’ නිසා යැයි කීමට මම ප්‍රගල්භ වෙමි. [එයින් සංස්ලේෂණීය වින්දනාත්මක කෙටිකතා අවැඩදායි යයි ගම්‍ය නොවෙන බව සැළකිය යුතුය]. මිරැන්ඩා හි 'මිරැන්ඩා' හා 'සඳලතා' නම් ශ්‍රෝඩිංගර් බැළලියන් දෙදෙන සිංහල කෙටිකතාවට කැඳවා ඒම ම ඒ සඳහා ප්‍රමාණවත්ය. සඳලතා මියගියා නම් මිරැන්ඩා ජීවත් වුනාද? නැතහොත් සිදුවුනේ එහි අනෙක් පැත්තද? මේ 'ඉමැජිනරි පැරඩොක්සයේ' එක් පද්ධතියක් නැවතී අනෙක පටන් ගන්නා තැන අතර සම්බන්ධය [අති පිහිතය] ප්‍රශ්න කිරීම ම දේශපාලනික අභියෝගයකි. බී 5 පිටු පහකින් මේ න්‍යායික අභියෝගය සූත්‍ර ගත කිරීම ෆැන්ටසි තිරයේ ප්‍රක්ෂේපණයන් කෙළ පැමිණි කෙනෙකු අතින් පමණක් සිදුවිය හැකිය.
සුජාත පුත්‍රයින්ගේ වස්තුවේ යතාර්ථය වංගුවක් ගසන්නේ කාලයේ නැමීමක් ලෙස අවකාශය ද අවකාශයේ නැමීමක් ලෙස කාලය ද පවත්නා ලෙස උපකල්පනය කරවන 'පුරෝකථනය කළ නොහැකි' අවස්ථා ගණනාවකිනි. එහි ඇත්තේ සසම්භාවී අවකාශයක් පමණකි. කියවන්නා සවිඥානක වන්නේ එහි අන්ත ඵලයට පමණි එය 'හකාවති ගේ' උප්පරවැට්ටියකි. කතාවේ හරය වන්නේ ග්‍රහණය කරගත නොහැකි සිදුවීම් අවකාශයයි. කතාකරු 'ඩබල් ස්ලිට් [ද්විත්ව විවර]' පරීක්ෂණයේ මෙන් අපට පෙන්නන කොටස නිසා නොපෙනෙන කොටස උපකල්පනය කර ගැනීමට අවකාශ සලසයි. 'ආලෝකය අංශුමය නොවේ නම් මොන රෙද්දක් දැ' යි ඇසිය නොහැකි බව සුජාත පුත්‍රයාගේ මරණය සිහිකැඳවයි.
රෝලන්ඩ් බාර්ත මහතා වියමන් වර්ග දෙකක් ගැන විමසයි. ඔහු රීඩර්ලි ටෙක්ස්ට් හා රයිටර්ලි ටෙක්ස්ට් යනුවෙන් බෙදන වියමන් වර්ග දෙක හකාවති සුගතදාස මහතා ගේ ජීවන වෘතාන්තය හා විනෝදාත්මකව පාහයි. කියවන්නිය අභියෝගයට ලක් නොකරන සුගතදාස මහතාගේ වෙබ් සාහිත්‍ය නොහොත් හෝද හෝදා මඩේ දැමීම නොහොත් අනවරත ස්වයං මෛථූනය -සුරතාන්තය මෙහි පරමාර්ථ නොවේ- නම් රීඩර්ලි ටෙක්ස්ට් එක විනිවිද දැකීමට උවමනා එක්ස් කිරණ ප්‍රහාරය 'විනෝදය' කෙටි කතාව විසින් කියවන්නිය වෙත ලබා දෙයි. විනෝදය රයිටර්ලි ටෙක්ස්ට් එකක් වන්නේ මේ විනිවිද යාම සංජානනය කර ගැනීම විසිනි. එම විනිවිද යාමෙන් අත්පත් වෙන 'දිව්‍ය සැපත' විනෝදයට වඩා පරමාර්ථ ය ට ආසන්න වෙයි.
2009 ඔක්තෝබරය වෙන විට ‘ලේ’ යනු ඉතා සුලබ හා ඉල්ලුම සැපයුම ඉක්මවා ගිය කොමෝඩිටියකි. සැපයුම ඉල්ලුම ඉක්මවා යාම ද එකවිටම සිදු වීම පල්ලමකට චූ කළ කුඩාවුන් දෙදෙනෙකුගේ චූ ගැලීමේ වේග තරඟයක් මෙන් විය. ලේ බීට් රූට් වතුර තරම් තුනී විය, චූ තරම අතිරික්ත විය. නිරීක්ෂකයා කතාවේ අග වෙන විට නැවතත් යතාර්ථය හා පැරඩොක්සිකව සම්මුඛ වෙයි.අර්බුදයට ගොස් ඇත්තේ යතාර්ථය නොව නිරීක්ෂකයා බව නිරීක්ෂකයාට ඒත්තු නොයන්නේ බොරැල්ලේ දාස ගොඩනැගිල්ල පාඩු ලබන බිල්ඩිමක් බව එය ඉදිකරන මොහොතේම තෙරුම් නොගත් මුදලාලි ට සිදුවූ අයුරිනි.
මේ අයුරින් හකාවති කියවා ගැනීම පහසු-අපහසු ක්‍රියාවක් වන්නේ එහි මතු පෙළ කියවා ගත හැකි නමුත් යටි පෙළ කවර වූ හෝ විශ්ලේෂණීය න්‍යායක් හා බැඳි ඇති බව සංජානනය කළ පසුවයි. හකාවති බ්ලොග් අඩවිය ලංකාවේ මුල්ම කෙටිකතා බ්ලොග් අඩවිය විය. 100% බ්ලොග් කෙටිකතා මුල්වරට පොතක් වූයේ හකාවති ගෙනි. ගැඹුරු කියවන්නන් අන්තර්ජාලයෙන් ඈත ඉන්නා නමුත් ගැඹුරු ලියන්නන් අන්තර්ජාලයෙන් ඇරඹිය හැකි බව හකාවතිගේ දෘශ්‍යමාන උදාහරණයයි.
හකාවති ට දැන් බකන්නිලා සිටිය නොහැකිය. ඊළඟ පියවර තැබිය යුතුය.
හකාවති ලංකාවේ කෙටිකතාවේ අනාගතයයි !
හෂිත අබේවර්ධන
No comments:
Post a Comment